බාහිර බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සුරක්ෂිත කිරීමට සහ පුරවැසියන්ගේ සුභසාධනය ආරක්ෂා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ යෝජනාවකට අනුව පිහිටුවන ලද ආර්ථික ආවේක්ෂණ කමිටුව ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වී තිබේ.
මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ ලේකම් සහ කැඳවුම්කරු ලෙස ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් (මූල්‍ය හා ආර්ථික කටයුතු) රසල් අපොන්සු මහතා කටයුතු කරයි.
මහබැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් සහ මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක හාන්ස් විජයසූරිය, ජනාධිපති ජ්‍යේෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා, ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ්හි සභාපති චන්න ගුණවර්ධන, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිත හනීෆ් යූසුෆ්, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ආර්.කේ. ඔබේසේකර, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් ඇතුළු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආර්ථික කටයුතු) කමිටුවේ සාමාජිකයින් මීට අයත්ය.
මේ වනවිට මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ගෝලීය වශයෙන් අස්ථාවර ආර්ථික පරිසරයක් නිර්මාණය වී ඇති අතර, එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ලවිය හැකි අයහපත් බලපෑම් සහ ඒ හමුවේ වෙළඳපොළ ස්ථාවර කිරීමට සහ පුරවැසියන් ආරක්ෂා කිරීමට ගතයුතු කඩිනම් පියවර පිළිබඳ මෙහිදී අවධානය යොමු කර තිබේ.
ඉතා කුඩා විවෘත ආර්ථිකයක් වන ශ්‍රී ලංකාව ඉන්ධන ආනයනය, මැදපෙරදිග කලාපයේ සේවය කරන විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල් ප්‍රේෂණ මෙන්ම එම කලාපය සමඟ ඇති වාණිජ හා ආයෝජන සම්බන්ධතා මත රඳා පවතී.
එබැවින් ශ්‍රී ලංකාව බාහිර ආර්ථික කම්පනවලට නිරාවරණය වීමේ අවදානම සහ ඒ පිළිබඳ නිරන්තරයෙන් අධීක්ෂණය කරමින් ගත යුතු අත්‍යවශ්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්කර තිබේ.

