අල්මාක් ෆියා නම් යාත්‍රාව අනතුරට ලක්වීමෙන් ලාංකිකයකු මියගොස් අතුරුදන්ව සිටි අවසන් වින්දිතයාගේ මළ සිරුර ද සොයා ගැනීමට හැකි වූ බව මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකා පවසනවා.
මියගිය ශ්‍රී ලාංකිකයා 38 හැවිරිදි අහමඩ් ෂිෆාන් ලෙසයි හඳුනාගෙන ඇත්තේ.
මෙම යාත්‍රාව පසුගිය බ්‍රහස්පතින්දා පෙරළී යන විට එහි පුද්ගලයන් 07 දෙනෙකු සිටියා.
මාලදිවයින් ජාතික ආරක්ෂක බලකාය (MNDF) විසින් අනතුරින් පුද්ගලයන් හතර දෙනෙකු (4) බේරා ගත් අතර, මුලින් තිදෙනෙකු අතුරුදන් වුණා.
MNDF විසින් අතුරුදන් වූ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකුගේ මළ සිරුරු අනතුර සිදු වූ දිනම සොයා ගත්තා.
තුන්වැන්නාගේ නැතහොත් එහි ගමන්ගෙන මීට පෙර හමුනොවූ අවසන් පුද්ගලයාගේ මළ සිරුර කේ අයිලාෆුෂි සහ විලා නියුටිකා අතර පාවෙමින් තිබියදී සෙනසුරාදා රාත්‍රියේදී සොයාගෙන තිබුණා.
මෙම ඛේදජනක සිදුවීම වාර්තා වූයේ රළු තත්ත්වයන් හේතුවෙන් මුහුදු ගමන් කරන්නන්ට පූර්වාරක්ෂාව සලසාගන්නා ලෙස මාලදිවයින් කාලගුණ සේවාව විසින් කාලගුණ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබූ අවස්ථාවකදීයි.
අනතුරට ලක්වුණේ භාණ්ඩ ප්‍රවාහන ගොඩබෑමේ යාත්‍රාවක්.
අඩි 100 ක් පමණ දිගැති ගොඩබෑමේ යාත්‍රාව බ්‍රහස්පතින්දා අලුයම කේ. තුල්හාගිරි සිට නාවික සැතපුම් 1.3 ක් දුරින් පිහිටි කේ. එරියදූ නිවාඩු දූපත දක්වා ගමන් කරමින් සිටියදී පෙරළී ගොස් තිබුණා.
ඇතැම් වාර්තාවල දැක්වුණේ මෙම යාත්‍රාව පෙරළී තිබුණේ බැකෝ යන්ත්‍රයක් ප්‍රවාහනය කරමින් සිටියදී බවයි.

